අපගේ නිවස හරිත නිවසක් (Green Home) කරගමු

අප වටා ඇති නිරන්තරයෙන් වෙනස් වන පරිසරය සමඟ ජීවත් වන අප, එම පරිසරය සම්බන්ධව දැන සිටීම හා සම්බන්ධව සිටීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඊටත් වඩා වැදගත් වන්නේ, අප එම පරිසරය රැකගැනීම හා අපගේ දූ දර්වන්ටත් එවන්ම පරිසරයක් දායක කිරීමට උත්සාහ කිරීමයි.

මෙම කර්තව්‍යය අපගේ නිවසෙන්ම අපිට ආරම්භ කළ හැකියි. අපගේ නිවෙස් “හරිත නිවෙස්” (Green Homes) බවට පත් කිරීම හරහා අපිට මේ සඳහා දායක විය හැකියි,

ඔබගේ නිවස හරිත නිවසක් බවට පත් කර ගැනීමෙන් ඉහත කරුණ හැරුණු කොට, ඔබට කොතරම් මූල්‍ය වාසියක් ලැබෙනවාද යන වගත් ඔබට දැනගැනීමට හැකි වනවා.

පරිසරයට හානිදායක දේ මුදාහරිමින් ශක්තිය අනවශ්‍ය ලෙස භාවිතා කරන ඔබගේ නිවෙස, පරිසරයට හිතකර හරිත නිවෙසක් බවට පත් කිරීම, පහසු හා සරළ ක්‍රම මගින් වුවත් සිදුකර ගත හැකි වනවා යයි ඔබට පැවසුවොත් ඔබ එය පිළිගන්නවාද??

ඔබට සිතිය හැකි, බලශක්තිය ඉතිරි කළ හැකි සියළුම දේ, අමුද්‍රව්‍ය අපතේ යාම නැවතිය හැකි සියළුම දේ, ඔබගේ නිවස හරිත නිවසක් බවට පත් කර ගැනීමට භාවිතා කළ හැකියි. 

ඔබගේ නිවස හරිත නිවසක් බවට පත් කර ගැනීම හරහා, ඔබ හා ඔබගේ පවුල ජීවත් වන පරිසරය ධනාත්මක හා හිතකර පරිසරයක් බවට පත් වනවාට අමතරව, ඔබ ඔබගේ පවුලේ අයට හා අසල්වැසියන්ට එහි වටිනාකම, අවශ්‍යතාවය, හා එහි වාසි යන පාඩම් කියාදෙනවාත් වෙනවා. ඒ අතරතුර, යම් අවස්ථා වලදී මූලිකව යම් ඉහළ වියදමක් ඔබට දරන්නට සිදු වුවත්, දීර්ඝකාලීනව සැළකුවහොත්, හරිත සංකල්පය දෙසට ගමන් කිරීම ඔබට මුදල් විශාල ප්‍රමාණයකුත් ඉතිරි කරනු ලබනවා. ඔබගේ නිවස හරිත නිවසක් බවට හැරවීමට මූල්‍ය ආයතන වල සහයක් වුවත් ඔබට ලබා ගත හැකියි. 

හරිත නිවෙසක් බවට ඔබගේ නිවස සකසා ගන්නට අදහස්

ස්ථානය

ඔබ නිවසක් තනන්නට නව බිම් කොටසක් මිලට ගන්නවා වන්නට පුළුවන්. ඒ මත නිවසක් / ගොඩනැඟිල්ලක් තනනවා වන්නට පුළුවන්.  ඒ අවස්ථාවේදී මුලින්ම සිතට ගත යුතු දේවල් කිහිපයක් තිබෙනවා. 

ප්‍රථමයෙන්ම, නිවසේ ජනෙල් තිබෙන හා වැඩි දිගක් සහිත බිත්ති බටහිරට මුහුණලන ලෙස තනන්නට එපා. සැමවිටම බටහිර දෙසට අවම බිත්ති ප්‍රමාණයක් මුහුණලන ලෙස ගොඩනැඟිල්ල/ නිවස ගොඩනඟන්න. ඒ හරහා, සෘජු හිරු එළිය ඔබගේ නිවස තුළට පැමිණීම අවම කරමින් ඔබගේ නිවස සිසිල්ව තබනවා ඇති. 

දෙවනුව, ගංවතුර, කුණාටු, නායයාම් වැනි ස්වභාවික උවදුරු වලට ලක්විය හැකි ස්ථාන වල නිවස තනන්නට එපා. ඔබට හේතුව සිතාගත හැකි යයි සිතනවා.

තෙවනුව, පොදු ප්‍රවාහන සේවා ඉතා ලඟින් තිබෙන, වෙළඳපළ පහසුවෙන් ලභාවිය හැකි කෙටි දුරක තිබෙන ස්ථානයක් තෝරාගන්න. එවිට ඔබට හැකි වනවා අවම වෙහෙසකින් හා ඔබගේ වාහනය පිටතට නොගෙන පා ගමනින්ම වෙළඳපළට යන්නට හා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ඔබගේ ගමන් බිමන් වල නිරත වීමට. ඒත් එක්කම ඔබගේ ගමන් වලට ගත කරන කාලය පවා ඉතිරි වනවා. 

අනවශ්‍ය ආකාරයට නිවස විශාල කරන්නට එපා.

ඔබ ඔබගේ නව නිවස වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කිරීමට සූදානමින් ඉන්නවා වන්නට පුළුවන්. නමුත් ඒ ගැන දෙවරක් සිතා බලන්න. අනවශ්‍ය තරම් විශාල නිවසකට වඩා ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණයේ නිවසක් තනන එක වඩා පරිසර හිතකාමී නේද? අනවශ්‍ය විදුලි පහන්, අනවශ්‍ය විදුලි පංකා, විදුලි උපකරණ ඔබ නිවස තුළ ක්‍රියාත්මක වීම නිවස කුඩා වන විට අවම වනවා.

ඉතින් ඔබ සාදන නිවස ඔබට කළමණාකරණය කර ගැනීමට හා ඵලදායී ආකාරයට පිරිවැය පාලනය කර ගැනීමට හැකි මට්ටමට සකසා ගන්න. ඔබ නිවස විශාල කිරීමට හා අමතර පිරිසක් ගෙන ඒමට බලාපොරොත්තු වනවා නම් ඊට ගැළපෙන ආකාරයට සම්පත් හා ඉඩකඩ සකසා ගන්නට සිදු වනවා. 

ඒත් එක්කම, හැකි නම් නිවසට භාවිතා කරන බිම් ප්‍රමාණය (Building Foot Print) අඩු කරන්න. ඒ හරහා ඔබගේ නිවසෙන් පොළවට වන හානිය අඩු වනවා. මෙය කරන්නේ කෙසේද? ඔබට පුළුවන් තනි තට්ටුවේ විශාල පොළව ප්‍රමාණයක් ආවරණය කරන නිවසක් වෙනුවට, ඊට වඩා අඩු බිම් ප්‍රමාණයක් ආවරණය කරන තට්ටු නිවසක් තනන්නට.

කාර්යක්ෂම උපකරණ භාවිතය

බලශක්තිය භාවිතය අඩු, වඩා කාර්යක්ෂම උපකරණ භාවිතා කරන්න. ඒවා නිසා ඔබගේ නිවසේ බලශක්ති පරිභෝජනය අඩු වනවා සේම ඔබට එය විශාල මූල්‍ය වාසියක් බවට ඉතාමත් ඉක්මනින් පත් වනවා.

ඔබට සිදුකළ හැකි දේ

  • සූත්‍රිකා බල්බ වෙනුවට වඩාත් කාර්යක්ෂම ආලෝක ප්‍රභවයක් වන LED බල්බ භාවිතා කරන්න. 
  • අනවශ්‍ය Wattage එකක් සහිත විදුලි පහන් භාවිතයෙන් වළකින්න.
  • සීලිං විදුලි පංකා වෙනුවට වඩා අඩු විදුලි ප්‍රමාණයක් වැය කරමින් වැඩි කාර්යක්ෂමතාවයක් සහිත මේසය මත තබන විදුලි පංකා භාවිතා කරන්න. 
  • අනවශ්‍ය ලෙස දැල්ල විශාල, ලිප දැල්වීමේදී වැඩි ගෑස් ප්‍රමාණයක් වැය කරන උඳුන් වෙනුවට නිවැරදි ප්‍රමාණයේ දැල්ලක් ලබා දෙන වඩා කාර්යක්ෂම ගෑස් උඳුන් භාවිතා කරන්න.
  • ගෑස් උඳුනේ දැල්ල සැමවිටම නිල් පැහැයෙන් පවත්වාගන්න. රතු දැල්ලක් යනු නිවැරදිව ගෑස් දහනයක් සිදු නොවන අවස්ථාවකි. (ඔක්සිජන් හා ගෑස් අනුපාතය නිවැරදිව සකසන්න)
  • Energy Star සහිත වඩා කාර්යක්ෂම ශීතකරණ භාවිතා කරන්න. 
  • CRT රූපවාහිනී වෙනුවට LED රූපවාහිනී භාවිතා කරන්න.
  • Electric Hot water shower වෙනුවට Solar Heater Shower භාවිතා කරන්න. 

නිවැරදිව තාප පරිවරණය කරන්න.

ලංකාව වසර පුරාම සූර්යයාලෝකය ලැබෙන රටක් නිසා ලංකාවේ පරිසර උෂ්ණත්වය යම් ඉහළ අගයක වසරේ බොහෝ කාලයක් පවතිනවා. ඉතින් නිවස තුළ උෂ්ණත්වය අඩු කරගැනීමට හැකි නම් නිවස තුළ ජීවත් වන්නන්ට එය ඉතාම පහසුවක් වනවා. ඉතින් යම් ආකාරයක තාප පරිවරණ ක්‍රමයක් භාවිතය වැදගත්. (උදා: වහලයට MacFoil වැනි තාප පරිවරණ යෙදීම, සූර්යයාලෝකය සෘජුවම වැටෙන බිත්ති/ජනෙල් වලට පිටතින් සූර්යයාලෝකය වැළැක්වෙන ආකාරයට පැළලි යෙදීම, ඇතුළතින් ඝණකම් ජනෙල් තිර රෙදි යෙදීම හෝ වහලය දිගු කිරීම)

ලංකාව තුළ නිවාස වල වායු සමීකරණ භාවිතය අඩු වුවත්, ඔබ වායුසමීකරණ යන්ත්‍රයක් භාවිතා කරනවා නම් ඔබගේ නිවසේ විදුලි පරිභෝජනයෙන් 50%ම භාව්ත කරන්නේ ඒ වායුසමීකරණ යන්ත්‍රයයි. ඉතින් නිවැරදිව නිවස තාප පරිවරණය සිදු කර නැති නම් නිවසේ උෂ්ණත්වය පාලනයට වායුසමීකරණ යන්ත්‍රය වලට අනවශ්‍ය වෙහෙසක් දරන්නට සිදු වනවා. ඉතින් නිවැරදිව තාප පරිවරණය කර ඇති නම් ඒ වෙහෙස අවම වීම හරහා ඔබගේ විදුලි පරිභෝජන වියදම සැළකිය යුතු ලෙස අඩු වනවා ඇති. 

අනෙකුත් නිවාස වල වුවත්, විදුලි පංකා භාවිතය මේ හරහා අවම කර ගැනීමට හැකි වනවා.  

අවම කරන්න, නැවත භාවිතයට ගන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න. (Reduce, Reuse and Recycle)

ලෝක ප්‍රසිද්ධ 3R සංකල්පය තමයි මේ.

ඔබට හැකියාව තිබෙනවා පොලිතින් බෑග්, ප්ලාස්ටික් භාජන නැවත නැවත භාවිතයට ගන්නට. නිවසකින් ඉවත් කරන ජනෙල්, දොරවල් නව නිවසට සෘජුවම භාවිතයට ගැනීම හෝ ඒ ලී වෙනත් කටයුත්තකට භාවිතයට වුවත් ගන්නට පුළුවන් නේද? යම් ගොඩනැඟිල්ලක් ඉවත් කරන විට, එහි ඇති ගඩොල්, ලී, යකඩ, ඇලුමිනියම්, තහඩු වැනි දේවල් නැවත තවත් කටයුත්තකට ඔබට භාවිතයට ගන්නට හැකියාව තිබෙනවා. 

පොලිතින් බෑග් භාවිතය වෙනුවට රෙදි බෑගයක් ඔබට භාවිතයට ගන්නට පුළුවන්කමක් තිබෙනවානම් පරිසරයට හානිදායක පොලිතින් භාවිතය අවම කරන්නට ඔබට පුළුවන් නේද? 

ඔබ ඉවත් කරන දේ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන්න. ප්‍රතිචක්‍රීකරණය කරන ලද වීදුරු, ඇලුමිනියම්, දැව, ප්ලාස්ටික් වැඩි දෑ ඔබගේ හරිත නිවසට භාවිතයට ගන්න.

තිරසාර ගොඩනැඟිලි අමුද්‍රව්‍ය භාවිතා කරන්න.

හරිත නිවසක ගොඩනඟන එක නම් ඔබගේ අරමුණ, පරිසරයට හිතකාමී අමුද්‍රව්‍ය භාවිතය ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක් වෙනවා. ඒ හරහා ඔබට හැකි වෙනවා ගොඩනැඟිලි අමුද්‍රව්‍ය භාවිතය හරහා වන පරිසර විනාශය අඩු කරන්න. ඔබගේ නිවසේ භාවිතා වන අමුද්‍රව්‍ය හැකි ප්‍රමාණයක් පරිසර හිතකාමී වන ලෙස තෝරාගන්න. (සෙවිලි ද්‍රව්‍ය, ගොඩනැඟිලි අමුද්‍රව්‍ය, විදුලි පරිවාරක, කැබිනට්/කබඩ්, බිම් ඇතුරුම්, බිත්ති ආලේපන…..) 

නැවත භාවිතයට ගැනීමට සැකසූ ලී, ප්‍රතිචක්‍රීකෘත ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකෘත වීදුරු, උණ, කිරල, වැනි නැවත ඇතිවන වෙනත් ස්වභාවික ආදේශක ඔබට භාවිතා කළ හැකියි. වෙනත් ගොඩනැඟිලි වලින් ඉවත් කරනලද යම් යම් අමුද්‍රව්‍ය ඔබට නව නිවසක් තැනීමේදී භාවිතා කිරීමටත් හැකියාව තිබෙනවා. 

සූර්ය පැනල ස්ථාපනය කරන්න. 

සූර්ය ශක්තිය යනු පුනර්ජනනීය බල ශක්ති විශේෂයකි. ඒ කියන්නේ නැවත් ඇති වන බලශක්තියක්. සූර්ය පැනල භාවිතය, ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන, විශාල වශයෙන් ජනප්‍රියව ඇති බල ශක්ති ප්‍රභවයක් බවට දැනටමත් පත්ව තිබෙනවා.

මූලිකව වැය කල යුතු ප්‍රාග්ධනය යම් ඉහළ අගයක පැවතියත්, දිගුකාලීන භාවිතය හරහා විශාල මූල්‍යමය ඉතිරියක් ලබා දීමට සූර්ය පැනල වලට හැකියාව තිබෙනවා. 

කෙසේ වෙතත්, සූර්ය පැනල භාවිතය හරහා බල ශක්තිය උත්පාදනය, ඔබගේ නිවස ඉදිකර ඇති ස්ථානයට ලැබෙන සූර්යාලෝකය ප්‍රමාණය මත රඳා පවතිනවා.

ඒත් එක්කම, අවම වශයෙන් රු. 8,000-10,000 කවත් විදුලි බිල්පතක් ඔබ ගෙවන්නේ නැති නම් සූර්ය පැනල ඔබ නිවසේ සවිකිරීම මූල්‍යමය වශයෙන් ඔබට වාසිදායක වන්නේ නෑ. ඉතින් ඒ ගැනත් සිතිය යුතු වනවා. 

වැසිජලය එකතු කිරීම හා ටැංකි රහිත ජල උණුසුම්කරණ භාවිතය

ඔබ නිවස ගොඩනඟන අවස්ථාවේදීම හෝ ඊට පසුව වුවත්, ඔබගේ නිවසේ වහලයෙන් එකතු වන වැසි ජලය එකතු කර ගබඩා කිරීමට ටැංකි සෑදීම හා ඒ ජලය භාවිතා කිරීමට ක්‍රමෝපායන් යෙදීම කළ යුතු වෙනවා. එම ජලය ඔබට වැසිකිළි වලට (flushing), ගෙවතු වගාවන්ට ජලය යෙදීම, වාහන සේදීම වැනි දේ වලට භාවිතා කළ හැකියි. (ඔබ සිටින්නේ නාගරික/කාර්මික ප්‍රදේශයක නම් වැසි ජලය වාහන සේදීම සඳහා මම රෙකමදාරු කරන්නේ නම් නෑ. මක්නිසාද යත්, ඔබ ප්‍රදේශයේ වැසි ජලයේ ආම්ලිකතාවය යම් ඉහළ අගයක පවතින නිසා එය වාහනයට හානිකර විය හැකි නිසයි.)

ටැංකි රහිත ජල උණුසුම්කාරක (online water heaters) භාවිතය හරහා ඔබට වාසි කිහිපයක් අත් වනවා. ඔබට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් රත් කර ගැනීම සිදුවීම හරහා අනවශ්‍ය බලශක්තියක් වැය වීම වැළකීම සේම ජලය ගබඩා කිරීමට ටැංකියක් අනවශ්‍ය වීම නිසා ඉඩ කඩ ඉතිරි වීම ඒ වාසි වනවා.

ඒත් එක්කම ඔබට උණු ජලය අවශ්‍ය නම් තිබෙන, හරිත ගුණය තවත් ඉහළ ක්‍රමයක් තමයි Solar Water heaters භාවිතය. Electric Water heaters වලට වඩා ඉහළ මූලික වියදමක් වැයකරන්නට සිදු වුවත්, දීර්ඝකාලීනව භාවිතා කරන විට එය electric water heaters වලට වඩා බලශක්ති ඉතිරියක් සිදු කරන ක්‍රමෝපායක් වනවා. 

පරිසර හිතකාමී ආලෝකකරණය

අවම බලශක්තියක් වැය කරමින් වැඩිම ආලෝකයක් ලබා දෙන LED, CFL වැනි බල්බ ඔබට භාවිතා කළ හැකියි. සාමාන්‍ය සූත්‍රිකා පහනකට වඩා ඉහළ කාර්යක්ෂමතාවයක් හා දිගු ජීවිත කාලයක් මෙම බල්බ වලට තිබෙනවා. ඒ නිසා අඩු වියදමක් සහිතව ඔබට ඔබගේ නිවස ආලෝකමත් කළ හැකි වනවා.

ඒත් එක්කම අවශ්‍ය මට්ටමට පමණක් ආලෝකය ලැබෙන ආකාරයට නිවස ආලෝකකරණය කරන්න.

උදා: ඔබගේ වැඩකටයුතු කරන මේසයට, මේසය මත තබන table lamp එකක් භාවිතා කරන්න, ගෙවත්තේ මාර්ග බිම් මට්ටමෙන් ආලෝකමත් කරන්න.

ජලය අපතේ නොයවන උපාංග භාවිතය

අඩු ජල ප්‍රමාණයක් ලබා දෙන ජල කරාම, වැසිකිළි, ෂවර් භාවිතය හරහා අනවශ්‍ය ජල ප්‍රමාණයක් භාවිතය හා ජලය අපතේ යාම අවම කරගැනීමට ඔබට ඉහළ හැකියාවක් තිබෙනවා. ඒ හරහා ඔබගේ නිවසේ පරිභෝජනය වන ජල ප්‍රමාණය අඩු කිරීම හරහා ඔබගේ ජල බිල්පත ඉතා පහළ අගයකට ගෙන ඒම ඔබට කළ හැකි වනවා පමණක් නොව ඔබ ස්වභාවික සම්පත් සංරක්ෂණයටද ක්‍රියාකාරීව දායක වන්නෙක් බවට පත් වනවා.

ඒ සමඟම, එකම ක්‍රියාකාරිත්වයක් සහිත, නමුත් අඩු ජල ප්‍රමාණයක් හා බලශක්තියක් භාවිතා කරන රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර භාවිතා කිරීමට වග බලාගන්න. 

වායුසමීකරණ (HVAC) පද්ධති භාවිතය

ඔබ වායුසමීකරණ යන්ත්‍ර භාවිතා කරන්නට සූදානම් වනවා නම්, ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත හා energy rated වායුසමීකරණ පද්ධතියක් මිලට ගන්න. එය නිවැරදිව ස්ථාපනය කරන්න. නිවැරදිව තාප පරිවරණය කරන්න. කාන්දු වළක්වනවාත් සමඟම කෙටි, සෘජු නල භාවිතා කරන්නට උත්සාහ කරන්න. නල මාර්ග 10%කට වඩා අඩු කාන්දු ප්‍රතිශතයක් පවතින ලෙස සකසා වෘත්තීයමය වශයෙන් පරික්ෂා කර බැලිය යුතු වනවා.

කාර්යක්ෂම භූමි සැකසීම (Landscaping)

නිවසට සෙවණ ලැබෙන ආකාරයකට භූ සැකසීම සිදු කිරීම හරහා ඔබබේ නිවසට සෘජු සූර්යයාලෝකය වැටීම වැළැක්වීමට හැකි වනවා. එවිට ඔබගේ නිවස අභ්‍යන්තරය අනවශ්‍ය ලෙස රත් වීම වළකිනවා. ලංකාව වැනි වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන රටකට මෙය ඉතා වැදගත් වනවා. මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් නිවසේ බටහිර දෙසට සිදුකළ යුතුයි. දෙවනුව නැගෙනහිර දෙසට සිදු කළ යුතුයි. (උදෑසන පරිසර උෂ්ණත්වය සවස් වරුවට වඩා සාපේක්ෂව අඩු අගයක පැවතීම මෙසේ සිදු කිරීමට හේතුවයි.)

නිවස තුළදී ඔබට හරිත සංකල්පය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද.

බොහෝ දෙනෙක් සිතන මිත්‍යා මතයක් වන්නේ, “හරිත සංකල්පය” විශාල වශයෙන් මුදල් වියදම් කර සිදු කළ යුතු දෙයක් ලෙසට සිතීමයි. 

නමුත්, අවම මුදලක් වියදම් කර හා අමතර මුදලක් වියදම් කිරීමකින් තොරව වුවද “හරිත සංකල්පයට” ඔබට දායක විය හැකි දේවල් බොහොමයක් තිබෙනවා. මේ දේ හරහා ඔබට, දිගු කාලීන වශයෙන් විශාල මූල්‍යමය වාසියක් පවා සැළසෙනවා. සමහර ක්‍රම කෙතරම් සරළද පවසනවා නම් ඔබ කිසි කෙනෙක් ඒ ක්‍රම ගැන සිතන්නෙවත් නැති වෙන්නට පුළුවන්. 

මෙවන් ඉතා සරළ දේ කිහිපයක් අපි සළකා බලමු.

  1. භාවිතා කරන්නේ නැති අවස්ථා වල විදුලි පහන් නිවා දමන්න. ඔබ කෙතරම් මේ දේ නොසළකා හරිනවාද කියල ටිකක් හිතල බලන්න. කොච්චර අනවශ්‍ය විදුලි පහන් ඔබගේ නිවසේ දැල්වෙනවාද??? කාමරයෙන් පිටතට යන විට කාමරයේ විදුලි පහන, විදුලි පංකාව, වායු සමීකරණ යන්ත්‍රය, නිවා දමා කාමරයෙන් පිටට යන්න. 
  2. කිසිම විදුලි උපකරණයක් Stand By Mode එකෙහි තබන්නට එපා. එය බිත්ති කෙවෙනියෙන්ම නිවා දමන්න. ඔබ දන්නවා ඇති standby mode හි පවතින විදුලි උපකරණ යම් විදුලි ප්‍රමාණයක් වැය කරනවා කියල. ඒ විදුලි ප්‍රමාණය මාස කිහිපයක් එකතු වන විට සැළකිය යුතු ශක්ති ප්‍රමාණයක් බවට පත් වෙනවා. (Laptop, Phone Charger, TV, Sound Systems, Mixer/Grinder, …. වැනි උපකරණ මේ අතර වනවා.)
  3. විවිධ දේ සඳහා අසුරන මිලට ගන්නා විට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අසුරන මිලට ගෙන භාවිතයට ගන්න. ඒවා භාවිතයෙන් ඉවත් කරනවිට ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යවන්න. 
  4. පොලිතීන්, ප්ලාස්ටික් අසුරන හැකිතරම් කාලයක් නැවත් නැවත භාවිතයට ගන්න. නව අසුරනයක් ඔබ මිලට ගන්නා වාරයක් පාසා ඔබ පරණ අසුරණයක් කසළ ගොඩට ඉවත් කරනවා කියන්නේ නොදිරන කැළිකසළ ප්‍රමාණය වැඩි වනවා සේම, එම අසුරන නිෂ්පාදනයට වැය කළ බලශක්තියද යම් අපතේ යාමකට ලක් කරනවා කියන එකයි. 
  5. හැකි නම් භාණ්ඩ ගෙන යාමට, රෙදි බෑගයක් භාවිතයට ගන්න. එය දිගු කාලයක් භාවිතයට ගන්න පුළුවන් වගේම, නොදිරන අපද්‍රව්‍ය එකතු වීමත් වළකිනවා. 
  6. නිවැසියන් හා සාකච්ඡා කර නිවසේ බලශක්තිය භාවිතා කරන ආකාරය ගැන සාකච්ඡා කර ඒ ඒ ක්‍රියාවන් සඳහා හොඳ දිනචර්යාවක් සකසා ගන්න. උදා: සියල්ලන්ගේම රෙදි එකවර සේදීම (රෙදි සෝදන යන්ත්‍ර භාවිතා කරනවා නම්), සැමගේ ඇඳුම් එක අවස්ථාවක මැද ගැනීම, සියළු දෙනාම එක්වර ආහාර ගැනීම හරහා නිවසේ විදුලි පහන් භාවිතා වන කාලය අඩු කිරීම, රූපවාහිනී දෙකක් තිබේ නම් සියල්ලන්ම එක වැඩසටහන එක් රූපවාහිනියකින් නැරඹීම….

Energy Saving ගැන මම මීට පෙර ලියල තියෙන “Energy Saving ගැන ඔබ නොදත් දේ” ලිපිය කියවා බලන්නත් මම ඔබට ආරාධනා කරනවා. 

ඉතින් අපි අද කතා කළා අපේ නිවෙස් හරිත නිවසක් කරගන්නට සිදු කළ හැකි සරළ වගේම සංකීරණ දේවල් කිහිපයක්ම.

මම ආරාධනා කරනවා ඔබත් මේ දේවල් අත්හදා බලන්න කියල.

අපගේ නිවස තුළ අපි භාවිතා කරන උපකරණ, බලශක්තිය, අමුද්‍රව්‍ය තිරසාර ලෙස හා පරිසරයට හිතකර ලෙස භාවිතා කරමින්, අපිත් හරිත සංකල්පයට දායක වෙමු,

අපගේ අනාගත පරපුරෙහි සුඛ විහරණය ආරක්ෂා කරමු.

අපගේ දූ දරුවන්ට ජීවත් වන්නට පිරිසිදු හා තිරසාර ලෝකයක් ඉතිරි කරමු.

මෙම ලිපිය “Green Building Council of Sri Lanka” හි බ්ලොග් අඩවියෙහි ජනවාරි මස “Article of the Month” ලෙස ප්‍රකාශයට පත් කෙරෙන ලදී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *